Saturday, October 12, 2013

කුමක් ද මේ දැහැමි සිව්පසය?


බුදු දහම කාට ද? මේ ප්‍රශ්නයට අනුරුද්ධ මහ රහතන් වහන්සේ ම පිළිතුරු දෙති. බුදු හිමියෝ ඒ පිළිතුරු සම්පූර්ණ කරති.‘අනුරුද්ධ සූත්‍රය’ ඇසුරෙන් සැකැසිණි.
සිව් දැහැතින් පොහොණි වූ ඉඳුරන් ඇති ව අට මහා විතර්කණයෙහි යෙදෙන ආර්ය සත්‍ය ගවේෂකයා සිව්පසය ගැන ද මහා පුරුෂ විතර්කයනට අනුව ම විතර්කණයෙහි යෙදිය යුත්තේ ය; එහි හැසිරිය යුත්තේ ය. හෙතෙම දැන් ගමන් කරන්නේ ජීවිතාවබෝධය ලැබීමට ය. ජීවත් වන්නේ කෙසේ ද යනු ඔහුට ප්‍රමුඛතා දිය යුතු ගැටලුවෙක් නො වේ. ඔහුගේ අරමුණ තව දුරටත් ජීවත් වීමට වඩා අතිශයින් දිගු සසර ගමනෙහි නිමාවක් දැකීම ය; ජීවිතය විවිධ අරමුණුවල ගැටගසා තැබීමෙන් වැළැකීම ය. ඒ පිණිස නම් පළමු ව සිත නිදහස් කරගත යුතු ය; ඇඳුමින්-පැලැඳුමින්, කෑමෙන්-බීමෙන්, ගේ-දොරින් නිදහස් විය යුතු ය; ඒ බරින් සැහැල්ලු විය යුතු ය; අපිස් බව කරා ගමන් කළ යුතු ය; මේ සියලු දේ කෙරෙහි යථාලාභ සන්තුෂ්ටිය ගැන පමණක් මෙනෙහි කට යුතු ය.
බුදු හිමියෝ මෙසේ වදාරති:
“අනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්නාහු නම් අධිචිත්තයට අයත් දිටු දැමියෙහි සුඛ විහරණය වූ මේ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන්නෙක් ද, සැප සේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නාහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ නොයෙක් පැහැයෙන් රඳනා ලද වතින් පිරුණු පිළිකරඬුයෙක් යම් සේ ද එසේ ම යථාලාභ සන්තෝෂයෙන් යුතු වාසය කරන්නා වූ කෙනකුගේ ඇල්ම පිණිස (තෘෂ්ණා-මාන-දෘෂ්ටීන්යෙන් නොපිරිනැවීම - අපරිත්‍රාසය - නොබිය වීම පිණිස) ඵාසු විහරණය පිණිස, නිවනට බැසගැනීම පිණිස සිවුරු අතරින් පවුල් (පාංශූකුල චීවරාණං) මැනැවැ යි වැටැහෙන්නේ ය.”
මේ සිව්පසයෙහි පළමුවැන්න යි. මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්නේ එය සිව්දැහැනක් මගින් තහවුරු කරගත්තේ නම් හෙතෙම පහසු විහරණය ගැන පමණක් සිතමින් ඇඳුම් පරිභෝග කටයුත්තේ ය. කාමභෝගී ගිහියකු විලාසිතා ගැන සිතමින් ඒවා පරිහරණය කරන්නේ ද නන් විධ ආවරණවලින් සැරැසීගනිමින් එහි අගය ගැන දොඩමලු වෙමින් කැටපතින් රුව බලමින් එහිලා ස්වයම් මෝහනයකට පත් වෙමින් තමා අනෙකා බවට පත් වන්නේ ද, එවැනියකුට ජීවිතාවබෝධය ලද නොහැකි ම ය. ක්‍රියාවට නැගෙන ප්‍රපඤ්චවල පුද්ගල හැසිරීම් එබඳු ය. හේ එයින් සතුටක් ලබයි; එහෙත් එයින් සෑහීමකට පත් නො වෙයි; තව-තවත් තෘෂ්ණා-මාන-දෘෂ්ටි වශයෙන් ඇලෙයි; ගැලෙයි.
සත්‍ය ගවේෂකයා එවැනි ඇලීම්වලින් තොර ව තමන්ට ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙමින් ම සත්‍යාවබෝධය කරා පැමිණෙයි; නිෂ්ප්‍රපඤ්චයෙහි නිරත වෙයි. හේ සත්‍යයෙහි ඇලෙයි; රන්-රිදීයෙහි නෑලෙයි; ඒ නිසා ම බියෙන් තොර ව ජීවත් වෙයි (අපරිතස්සාය); සැහැල්ලු පැවැත්මෙහි (ඵාසුවිහාරාය) යෙදෙයි.
ගෘහපතියෙක් හෝ ඔහුගේ සාමාජිකයෙක් (ගහපතිස්සවා ගහපති පුත්තස්සවා) සිය කාමභෝගී ජීවිතයේ ලද හැකි සම්පත් පරිහරණය උපරිමයෙන් ම විඳගැනීම ගැන සිතයි; විමසයි; එහෙත් එහි කෙළවරක් නො දකියි; අද අඳින ඇඳුමට සමාන හෝ ඊටත් ඉහළ වටිනාකමකින් යුතු ඇඳුමක් තවෙකෙක් ඇඳ සිටියොත් තමාගේ ඇඳුම ගැන දුක සිතයි; ඊට වෙනස් හෝ විසිතුරු විලාසිතා සහිත ඇඳුමක් ඊට පසු සොයයි.
ගිහි කල අතිශය සුව-පහසු දිවියක් ගත කළ අනුරුද්ධ හිමියන් සත්‍ය ගවේෂණයෙහි යෙදෙමින් මහා පුරුෂ විතර්කයන් හඳුනාගැනීමෙන් පසු බුදු හිමියන්ගේ අනුශාසනාව වූයේ, “අනුරුද්ධය, යථාලාභ සන්තෝෂයෙන් යුතු ව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස, ප්‍රපඤ්චයන් නිසා බියට පත් වීමෙන් වැළැකෙනු පිණිස, පහසු විහරණය පිණිස, නිවනට බැසගැනීම පිණිස, සිවුරු අතරින් පවුල් සිවුර (පාංශුකූලං චීවරාණං) මැනැවැ යි වැටැහෙන්නේ ය,” යනු යි.
දෙවැනි ව දැක්වූයේ “ගිහියකු නොයෙක් සුප ඇති, නොයෙක් ව්‍යංජන ඇති, බැහැර කළ කළු ඇට ඇති, හැල්බතක් යම් සේද එසේ ම සත්‍යාවබෝධයට බැසගනු පිණිස බොජුන් අතරින් පිණ්ඩපාතයෙන් ම ලැබෙන ආහාරය ම මැනැවැ යි වැටැහෙන්නේ ය,” යනු යි.
සත්‍යාවබෝධය දිනාගනිමින්, දුක නැති කිරීම උදෙසා වැර වඩනු වෙනුවට, “හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යනු මෙහෙවර ප්‍රකාශය බවට පත් කරගෙන කය නඩත්තු කිරීමෙන් සැප ලැබිය හැකි යැ යි සිතන-මතන-පතන සමාජයකට විමුක්ති සුව අත්විඳීය හැකි වේ ද?
පා ගමනින් පිඬු පිණිස සැරි සරා ගොස් ලැබෙන අහරින් සතුටු වී වන සෙනසුනෙක චිත්ත සමාධිය උදෙසා වැර වඩන අනුරුද්ධ සාමීන් වැනි මහා තෙර නමකගේ අසහාය ප්‍රායාසය අගයාලීමට බුදු කෙනකු ම සිටිය මනා ම නො වේ දැ යි නූතනයකු ප්‍රශ්න කෙරේ නම් ඊට සානුකම්පිත ව බැලීම හැර වෙන කුම් කරම් ද? එවන් වටිනාකම් අගයාලීමට පුරුදු පුහුණු වී සිටි සිංහළ බෞද්ධ සමාජය අද ඒ පිළිවෙතින් දැක්මෙන් බැහැර වී සිටීම සංවේගජනක ය.
විෂම ආහාර රටාවකට නැඹුරු වී ඇති අද සමාජය ඒ ආහාර නිසා හට ගැනෙන තරබාරුව ද විකිණීමට පටන් ගෙන ඇත. ඇට දිරා යෑම ද විකිණෙයි; හිසරදය, ඇඟ-පත රුදාව ද විකිණෙ යි. ශරීරාංග දන් දීම පාරමිතාවක් සේ අගය කළ සමාජයක නූතනයා දැන් සිරුරු කොටස් ද විකුණයි. දාන පරමත්‍ථ පාරමිතාවට පමණක් දෙවැනි වූ දාන උපපාරමිතාව සේ හැඳීන්වෙන සිරුරු කොටස් දන් දෙන පරිත්‍යාගශීලීහු තවමත් අප අතර බොහෝ කොට සිටිති. ඔවුන්ගෙන් පරිත්‍යාග වශයෙන් ලබාගන්නා සිරුරු කොටස් හොර රහසේ ම විකුණන තැරැව්කාර පෙළක් දැන් දැන් සැරි සරනු දැකිය හැකි ය.
සර්වබලධාරිත්ව සංකල්පය ප්‍රතිරූපයකට නංවා මහා දෙවි කෙනකු සේ බාර ගෙන යාච්ඤා කිරීම මගින් ආධ්‍යාත්මික වර්ධනයක් සුවයක් දැකීමට පුරුදු පුහුණු-කැරුණු බටහිර සමාජය තුළ භෞතිකවාදය ජනපි‍්‍රය වන විට ඔවුන්ගේ බලගතු තර්කයක් වූයේ ධනවාදය විසින් වැඩවසම් යුගයේ බිහි වූ ආගම්, පුද-පූජා, වත්-පිළිවෙත් සියල්ල වෙළෙඳ භාණ්ඩ බවට හරවන බව යි. සැබැවින් ම එතැන එය එසේ වෙමින් තිබිණි. දැනුදු එසේ වෙමින් තිබේ. ප්‍රජාතාන්ත්‍රික අධිපතිවාදී දෘෂ්ටිය ලෝක පාලන දැක්ම බවට පත් කරගනිද්දී ආගමික පුද-පූජා වාණිජකරණයට ලක් කිරීමේ පහත් පිළිවෙත ද ජගත් පිළිවෙතක් වී අප අතරට කාවදින විට, සාම්ප්‍රදායික විද්‍යා ඥානය ද හෑල්ලුවට ලක් කරමින් අපගේ බුද්ධිය සම්පත්වලට තර්කය නමැති පා පහර දෙමින් අවඥාවෙන් බැහැර කරද්දී අට මහා පුරුෂ විතර්ක ද බෞද්ධ සමාජයේ කතිකාවක් වීමෙන් බැහැර වී ඇත.
‘නිදහස් වෙළෙඳ පිළිවෙත’ තුළ සුපිරි වෙළෙඳ සංකල්පය ආයතනගත වෙද්දී, එය ලෝකය යන අත බවත් ජගත් වාණිජ ආත්මය වැලැඳ නොගෙන අපට ආර්ථික විමුක්තිය ලද නොහැකි බවත් දේශපාලන උතුමන් වෙතින් ඊනියා දාර්ශනික චින්තන, ප්‍රවාද, ප්‍රකාශ කැරෙත්දී බටහිරුන් දේශනා කරන වාණිජ ජගදාත්මය පිදීමේ නිදහස මානව අයිතිවාසිකම්වල ප්‍රමුඛතා ලේඛනයේ මුදුන් මල්කඩ වී තිබීම ද අරුමයක් නො වේ.
අල්පේච්ජනාව වෙනුවට බහුභාණ්ඩිකතාවට සීමා රහිත ව සමාජ වටිනාකම් දෙන විට අට මහා පුරුෂ විතර්ක ගැන සිතීම පවා මුග්ධකමක් සේ සිතීමට යොමු කැරෙන වාණිජමය ප්‍රචාරක දැලෙකින් සමාජ විඤ්ඤාණය වසා ඇත. මහ මැඳුරු තුළ වසමින් ‘කළු ඇට ඉවත් කළ’ රස බොජුන් වළඳමින් රුපියල් දස දහස් ගණන්වලින් මිල සටහන් වූ බෙහෙත් වර්ග මගින් ජාන ශක්ති විශේෂ අවදි කරවාගෙන තාරුණ්‍යයේ මදකිපී විසූක දස්සන නටන විට දෙමවුපියන්ට දූ-පුතුන් පාලනය කරගත නොහැකි ව මහදැනමුත්තාගේ විසඳුම් ක්‍රමවේද යොදාගනිමින් අහිංසකයන් පෙළීම සමාජගත වී ඇති සේ ය.
මුසා බසින් මුළා කරගෙන රෝගීන් නිර්වින්දනය කරවා කළ යුතු අවශ්‍ය ම සැත්කම් සේ අඟවා නීරෝගි සිරුරු අවයව කපාගෙන ගසා-වසා-මසාදමා රෝගීන් මාරාන්තික අනතුරුවලට ලක් කරන මාංස වෙළෙඳාමේ යෙදෙන මාරාවේශ වූ වෙදැදුරන් ගැන අසන්නට ලැබෙන්නේ ඉඳ-හිට නො වේ. මේ අට මහා පුරුෂ විතර්කයන්ගෙන් අනුක්‍රමයෙන් බැහැර වන සමාජය මේවා ප්‍රසිද්ධියේම විකිණීමට සුපිරි වෙළෙඳසල් ඇති කළොත් එය ද පුදුමයට හේතුවක් නොවනු ඇත. පරිත්‍යාගශීලී අරමුණු බිඳවැටෙමින්, පෞද්ගලිකාර්ථකාමී අරමුණු ජය ගනිමින් සිටිනු පෙනෙන හෙයිනි.
මේ සියල්ල සත්‍යගවේෂණය උදෙසා නම් නො වේ.
තෙවැනි ව ධර්ම ගවේෂකයා විසින් අනුගමනය කළ යුතු අනෙක් පිළිවෙත ගැන අනුරුද්ධ ස්වාමීන්ට බුදු හිමියෝ මෙසේ දැක්වූ හ:
“අනුරුද්ධය, තෙපි යම් කලෙක පටන් මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්නහු නම්, අධිචිත්තයට අයත් දිටු දැමියෙහි සුඛ විහරණය වූ මේ සතර ධ්‍යානයන් ද කැමැති සේ ලබන්නෙක් ද සැප සේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම්, අනුරුද්ධය එතැන් පටන් තොපට යම් හෙයකින් ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ ඇතුළත-පිටත පිරියම් කරන ලද, වළක්වන ලද මාන ප්‍රවේශ ඇති, පැහැසූ කවුළු ඇති, පියන ලද දොර කවුළු ඇති කුළු ගෙයක් මැනැව යි වටහා ද එසෙයින් යථාලාභ සන්තෝෂයෙන් යුතු ව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස, (තෘෂ්ණා-දෘෂ්ටීන්ගෙන්) බිය ඇති නොවීම පිණිස, ඵාසු විහරණය පිණිස, නිවනට බැසගැනීම පිණිස සෙනසුන් අතරින් වෘක්‍ෂ මූලය මැනැවැ යි වැටැහෙන්නේ ය.”
මෙය නූතනයේ ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ කෙසේ නම් වැටැහේ ද?
බිය ඇති නොවීම පිණිස, සුව-පහසු විහරණය පිණිස, සිතේ සැනැසීමෙන් වාසය කරනු පිණිස සේනාසන අතුරින් - ‘කඳු සම කර, පහත් බිම් ගොඩ කර, ගස් මුලිනුදුරාදමා, ඉඩම් කැබැලි කර, වට කොට බඳින ලද තාප්ප ඇති, යකඩ වැටකින් සහ ඝන තහඩු දැමූ දොරටු ඇති මල්-ලියකමින් සරසා ඇති, ඇතුළත-පිටත පිරියම් කළ වර්ණ සංයෝගවලින් යුතු බිත්ති ඇති, වළක්වන ලද වාත ප්‍රවේශ ඇති, වායු සමීකරණය කරන ලද මැදිරිවලින් යුතු ඇතුළත විසිතුරුකම් පිටතට දැකීමට හැකි සේ වීදුරු දැමූ වැසූ දොර කවුළු ඇති, කැණිමඬලක් නැතත් අඩු ම තරමින් එක් උඩුමහලක් ඇති කූටාගාරයකින් යුතු මැඳුරෙකින් ම විනා අන් සෙවණෙකින් නිවන්පුර යා නොහැකි ය යන විතර්කණයෙකින් මැ චූල සේනාසනයක් ම උතුමැ’ යි යන කල්පනාවෙන් මුළු ජීවිතය ම ගත කරනු නොහෙත් ද?
සිය ජීවිත කාලයේ වටිනා ම කොටසක් මේ වෙනුවෙන් වෙන් කැරෙන මේ ගැහැවියා හෝ ගැහැවි පුත් හෝ ඉන් ලබන සැනැසීම කෙබඳු ද? ණය බරින් මිදෙනු වස් තව-තවත් වෙහෙසීම ය; සොර-සතුරන්ගෙන් බේරීමට විද්‍යුත් උගුල් ඇටැවීම ය; කැමරා පද්ධති සවි කිරීම ය; ඇතුළත-පිටත අඳුර දුරු කර තැබීමට විදුලි පහන් නිරතුරු දැල්වීම ය; මුර සේවා පැවැත්වීම ය; මිනිසකු ජීවත් කරවීමට වඩා වැඩි වියදමක් දරමින් එක් බල්ලකු නො ව, කීප දෙනකු ඇති දැඩි කිරීම ය. ඒ සියලු මුරකාවල් එසේ තිබියදීත් කිසියම් දිනෙක පුවත්පතකට හෝ විද්‍යුත් මාධ්‍යයකට පුවතක් - වාර්තාවක් යැවෙන්නේ අසවල් නිවෙසට ඇතුළු වූ සොර මුළක් ගෙහිමියන් බැඳදමා හෝ මරාදමා හෝ මුදල් හා රන් බඩු පැහැරගෙන ගිය බව ය.
මෙය සපුරා ම සකසා වටහාගැනීමට බුදුහු මේ හා බැඳුණු අනෙක් පිළිවෙත ද පැහැදිලි කර දුන්හ:
“අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ මහ කොඳු පලස් අතුළ, සුදු එළු ලොම් ඇතිරි අතුළ, ගන පුප් ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් ඇතිරි අතුළ රතු උඩු වියන් සහිත වූ දෙපස රතු කන්වයින් ඇති පල්ලඞ්කයක් යම් සේ ද - ඒ පරිද්දෙන් ම සතුටින් වසන තොපට ඵාසු විහරණය පිණිස, බියෙන් තොර වීම පිණිස, ඇත්ත සොයා යනු පිණිස තණ ඇතිරිය මැනැවැ යි වැටැහෙන්නේ ය.”
පහසු විහරණයෙන් සහ මානසික අසහනයෙන්, ආතතීන්ගෙන් තොර ව සුව දිවියක් සඳහා සුව එළවනසුලු අසුන්, යහන් ආදිය මැනැවැ යි කාමභෝගී ගිහියකුට වැටැහෙන්නේ යම් සේ ද, සත්‍යසේවී ධර්මකාමියකුට තමන්ට සැතැපීම, වාඩි වීම සඳහා පිදුරුවලින් තැනූ කොට්ටයක් වුව ද මැනැවැ යි වැටැහෙන්නේ ම ය.
මෙහි පස් වැනි පිළිවෙතකුදු බුදු හිමියෝ මෙසේ වදාළහ. ඒ නීරෝගි සුව සඳහා වූ බෙහෙත් ප්‍රතිකාර ගැන ය:
“අනුරුද්ධය, තෙපි යම් කලෙක සිට මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්නාහු නම් අධිචිත්තයට අයත් දිටු දැමියෙහි සුඛ විහරණය වූ මේ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන්නාහු නම්, සැප සේ ලබන්නාහු නම්, නිදුකින් ලබන්නාහු නම් අනුරුද්ධය, එතැන් සිට ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ ගිතෙල්, වෙඬරු තෙල්, මී, උක්හකුරු යන නොයෙක් බෙහෙත් යම් සේ වේ ද එපරිද්දෙන් ම සන්තෝෂයෙන් වාසය කරන තොපට ඇල්ම පිණිස නොපිරිනැවීම පිණිස, ඵාසු විහරණය පිණිස නිවනට බැසගැනීම පිණිස බෙහෙත් අතරින් ප්‍රතිමුත්ත හේසජ්ජය මැනැව යි වැටැහෙන්නේ ය.”
මිනිසුන්ට ලෙඩ-රෝග සෑදෙයි. ඊට වයස් වෙනසක් නැත; ඇදහීම්වලින් ආදේශකයක් නැත; ජාති-කුල-ලිංග භේද නැත; සමේ වර්ණය කුමක් දැ යි ප්‍රශ්නයක් නැත. ඒ නිසා ද හැදෙන ව්‍යාධීන් ඇතත් ඒවා මානසික ව්‍යාධීහු වෙත්. එහෙත් සත්‍යගවේෂකයා මානසික ව්‍යාධීන්ගෙන් නො පෙළෙයි. එසේ වුවත් ඔහු ද කායික ව රෝගී වෙයි. එකී රෝගවලට පිළියම් යෙදීමේදී කාමභෝගී ගිහියකු මෙන්, ‘සීනි-මීපැණි’ අනුපාන වශයෙන් ගැනීමෙන් හෝ පස්ගෝ රස ම යෙදූ ඔසු පැන් ගැනීමෙන් හෝ නොසිට, ‘පූතිමුත්ත භේසජ්ජය’ බීමෙන් හෝ ලෙඩ සුව කරගත යුතු වෙයි.
මෙහි ‘පූතිමුත්ත’ යනු ගව මූත්‍ර යනු විසින් අර්ථ ගැන්වුව ද එය පමණක් ම නො වේ. ‘පූති’ යනු අමිහිරි අප්‍රසන්න, පල්ගඳ වහනය වන යන අරුතින් ද ගැනේ. ‘පූයා’ යනු පැසවන ලද දේට නමි. තුවාලයක් පැසවා ගලන්නේ ද පූයාව ය. එහි අරුත කුණු ගඳ වහනය වන සැරව යනු යි. එහෙයින් මෙහි ලා ඉතා තිත්ත රසයෙන් හා අමිහිරි ගඳෙකින් යුතු ඖෂධ යන අදහස ගැනෙනවා සේ ම ඇතැම් විට බෙහෙත් වශයෙන් මිනිස් මූත්‍ර වුව ද ගත යුතු බව අදහස් කැරේ (සර්ප විෂ නැති කිරීම සඳහා අපගේ සාම්ප්‍රදායික වෙදකමේ ගැනෙන විෂනීල තෛලය සිඳවාගැනෙන්නේ මිනිස් මූත්‍ර යොදාගැනීමෙනි).
මේ සියලු තත්ත්ව ජානනයෙහි යෙදුණු බුදු හිමියෝ අනුරුද්ධ ස්වාමීන්ට මෙසේ යෝජනා කළහ:
“අනුරුද්ධය, එසේ නම් තෙපි චේති දනව්වෙහි මෙහි ම පාචීනවංශ මුව වෙනෙහි මත්තෙහි එන වස් විසුම ද කරන්නහු” යනු යි.
එය අනුරුද්ධ හිමියන්ට බවුන් වඩනු වස් ‘පිතෘ විෂයය’ හෙවත් ‘ගෝචර භූමිය’ වන බැවිනි. අනුරුද්ධ හිමියන්ට මහා විතර්කයන් පහළ වූයේ මේ පරිසරය තුළදී ය. වෙනත් පරිසරයකදී එසේ නොවිය හැකි යැ යි මෙයින් අදහස් නො කැරේ. කෙනකුට ප්‍රවිවික්ත භාවය - ප්‍රකර්ෂ විවේකය හෙවත් කාය-චිත්ත සන්සුන්කම හට ගැනීමට හෝ නොවීමට බාහිර පරිසරය ද යම් තරමකට බලපායි. බාහිර පරිසරය කාය-චිත්ත විවේකයට අනුබල නොදේ නම් හෙතෙම වහා එතැනින් ඉවත් ව යෑමට සිතන්නේ ද කටයුතු කරන්නේ ද ඒ නිසා ම ය.
තමන්ට පිතෘ විෂයය හෙවත් ගෝචර භූමිය වන්නේ යම් තැනෙක් ද, එතැන් සිට අත්දැකීම් ලබයි, ඒවා කුසලතා බවට වර්ධනය කරගනියි. එයින් පාරමිතා පිරීමට වැර දරයි.
එය භික්‍ෂුවකට පමණක් නො ව, ගිහි-පැවිදි කාටත් එක සේ බලපාන පසුබිමකි. එහෙයිනි චක්කවත්ති සීහනාද සූත්‍රයේදී බුදු හිමියන් “ගෝචරේ භික්ඛවේ චරථ සකේ පෙත්තිකේ විසයේ” “මහණෙනි පිතෘ විෂය ගෝචර කරගනිමින් හැසිරෙන්න,” යනුවෙන් වදාළේ.
සිදුහත් ගෞතම බෝසත්තුමන්ට රජ මැඳුරුවල සිට බුද්ධÀවය කරා යෑමට නොහැකි විය. එහෙයින් උන් වහන්සේ ඊට නිසි ගෝචර භූමියක් වෙත අබිනික්මන් කළහ.
අනුරුද්ධ හිමියන්ට මහා පුරුෂ විතර්ක පහළ වූ බව ඇතුළු නුවණින් දැනගත් බුදුන් වන්සේ අනුරුද්ධ හිමියන් වැඩ සිටි චේති දනවුවට ම වැඩම කළහ. පණිවිඩයක් යවා උන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි භග්ග දනවුවේ මුව වෙනෙහි සෙනසුන වෙත කැඳවාගත හැකි ව තිබුණ ද බුදුන් වහන්සේ එසේ නොකළ සේක් හේතු සහිත ව ම ය.
ඉන් පසු ව බුදු හිමියෝ තමන් වැඩ සිටි අරණට ම ගොස් සෙසු භික්‍ෂූන් වහන්සේ දම් සභාවට රැස් කළ සේක. එසේ නැති ව අනුරුද්ධ හිමියන් වැඩ සිටි චේති දනවුවේ අරණට ම භික්‍ෂුන් කැඳවා, අනුරුද්ධ හිමියන් තුළ පහළ වූ මහා විතර්කයන් සහ තමන් වහන්සේ ඊට එකතු කළ අට වැනි මහා විතර්කය ගැන ද අනුරුද්ධ හිමි ඉදිරිපිටදී ම දේශනා කළ හැකි ව තිබිණි. එසේ නොකළ සේක් ද හේතු සහිත ව ම ය. එකී මහා විතර්කයන් තුළ ම අදාළ හේතු ප්‍රත්‍යයන් ගැබ් ව තිබිණි.
ඒ අයුරින් අස්ථානයෙහි කැරෙන කිසිවක් බුදු සිරිතට අදාළ නො වේ. අයෝග්‍ය පිළිවෙළක් අනූයෑමක් සිදු නො වේ. සාවද්‍ය සංවාදයක් ඊට ඇතුළත් නො වේ.

මෙය http://www.namaskara.lk වෙබ් අඩවියේන් උපුටා ගන්නා ලදී

ඔබ සැමට තෙරුවන් සරණයි..................

No comments:

Post a Comment