Monday, October 14, 2013

බුදුදහම හා බෞද්ධයින් ගැන සමාජයේ ඇතිවී ඇති දුර්මත ගැන සාකච්ඡා කිරීමකි

සැබෑ වෙනස


[මෙම ලිපියෙහි අරමුණ අනෙක් ආගම් වලට පහර ගැසීම නොව බුදුදහම හා බෞද්ධයින් ගැන සමාජයේ ඇතිවී ඇති දුර්මත ගැන සාකච්ඡා කිරීම පමණක් බව සලකන්න.]
මොහොතකට හිතන්න පුද්ගලයන් දෙන්නෙක් ගැන, මේ ලෝකෙ ඉන්න හොඳම, බුද්ධිමත්ම, ඔක්කොම හොඳ වැඩ කරන, කිසිම නරක වැඩක් නොකරන වගේම දෙන්නටම විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයො දෙන්නෙක් ගැන හිතන්න. ඒ වුනාට එක්කෙනෙක් කියනව එයා දෙවියෙක් (හෝ දෙවියන්ගෙ නියෝජිතයෙක්), ඇවිත් ඉන්නෙ ඔයාලට උදව් කරන්න කියලා. ඒ වගේම කියනව එයාගෙ දේවත්වය හරි එයා කියන දේව වචන හරි ප්‍රශ්න කරන්න එපා කියල. (මේ පුද්ගලයා ඔබට බොරු කියනවා නොවේ. ඔහු ඇත්තටම හිතනවා ඔහු දෙවියෙක් (හෝ දෙවියන්ගෙ නියෝජිතයෙක්) කියලා එහෙම නැත්නම් සමාජය විසින් ඔහුව ඒ විධියට හිතන්න යොමු කරල ඇති. බියෙන් තැතිගත් මිනිස්සු තමන්ට ආලෝකය දෙන සූර්යයා, තමන්ට සෙවන දෙන මහා වෘක්ෂ පමණක් නොව තමන්ට පිහිට වන ඕනෑම දෙයක්, ඕනෑම පුද්ගලයෙක් දෙවියන් ලෙස සැළකීමට පෙළ‍ඹෙන බව බුදුන් වහන්සේ පවසා ඇත.) අනිත් කෙනා කියනවා එයත් අපි වගේම සාමාන්‍ය කෙනෙක්, ඔයාලට උදව් කරන්න ආවෙ ඒ වගේම එයා කියන කිසිම දෙයක් ඔයාල හිතල බලල තේරුම් ගන්නකම් පිළිගන්න එපා කියල. ඔබ කාවද පිළිගන්නෙ? එහෙමත් නැත්නම් ඔබ කාවද අනුගමනය කරන්නෙ? ප්‍රශ්න අහන්නෙ නැතුව එයා කියන විධියට ගිහිල්ල විමුක්තියට (දෙවියන් ලඟට) යන්න කියන කෙනාවද? නැත්නම් අනුගමනය කරන්න හරි නොකරන්න හරි ඔබට තෝරගන්න දෙන, ප්‍රශ්න අහන්න ඉඩ දීල සැක දුරු කරගෙන විමුක්තියට මග පෙන්වන කෙනාවද? මෙයයි බුදුදහමේ වෙනස! අනුගමනය කරන්නන්ට, බුද්ධියට, දැනුමට මුල් තැන දෙන ඒ වගේම කාටවත්, කවදාවත් ඔප්පු කරන්න බැරි දේවල් (ඒ කියන්නේ බුද්ධි ගෝචර නොවන දේවල් - බුදුදහමේ ඇති "එන්න ධර්මය දකින්න" යනුවෙන් කීමට ඇති හැකියාව බොහෝ ආගම් වලට නොමැත.) අහක දාන එකම ආගම බුදුදහමයි.
ඒ වගේම අනෙක් ආගම් මෙන් බුදුදහමේ පදනම රඳා පවතින්නේ විශ්වාසය මත නොව අවබෝධය මතයි. අනෙක් ආගම් වල භක්තිකයන් එම ආගමේ සැබෑ භක්තිකයන් වන්නේ දෙවියන් වහන්සේ ගැන ඇතිවන බලවත් විශ්වාසය නිසාවෙනි. නමුත්බෞද්ධයකු සැබෑ බෞද්ධයකු වන්නේ බුදුන් වහන්සේ හෝ බුද්ධ ධර්මය හෝ සංඝයා වහන්සේ ගැන ඇතිවන විශ්වාසයෙන් නොව ඒ පිළිබඳව ඇතිවන මනා අවබෝධයෙනි.(බුදුන් වහන්සේ පවසන දෙය පවා තමා තමාගේ නුවණින් හොඳින් අවබෝධ කර ගන්නා තෙක් විශ්වාස නොකරන ලෙස බුදුන් වහන්සේම පවසා ඇත. - මෙය හොඳට චූළ හත්ථිපදෝපම සූත්‍රයේ උදාහරණයකින් විස්තර කරනවා. සිහියෙන් කියවන්න)
බුදුදහම පිළිබඳව සමාජයේ කතා වන තවත් කරුණක් නම් බුදුදහම විද්‍යාත්මකද යන්නයි. මේ පිළිබඳව සොයා බැලීමට පෙර විද්‍යාව යනු කුමක්දැයි දැනගැනීම වටී. විද්‍යාව යනු ස්වභාවධර්මයේ අප නිරීක්ෂණය කරන දේ, අප සංවේදනය කරන දේ සිදුන්නේ මෙලෙසින්ය, සිදුවන්නේ මේ හේතුවෙන්ය, එය සිදුවීමෙන් මෙවන් ප්‍රතිඵල ලැබේ යනුවෙන් අප විසින් නිර්මාණය කර ගත් දැනුම පද්ධතියකි. එනම් විද්‍යාව යනු සොබාදහම නොව සොබාදහම අප දකින ආකාරයයි. එමෙන්ම විද්‍යාව යනුවෙන් ඇති මුළු දැනුම පද්ධතියම ගොඩනගා ඇත්තේ උපකල්පන මතය. ක්වොන්ටම් යාන්ත්‍රණය වේවා, සාපේක්ෂතාවාදය වේවා, ගණිතය වේවා මේ සියලු විද්‍යාවන් ගොඩනගා ඇත්තේ උපකල්පන (හෝ axioms) මතය. වස්තුවක පෘෂ්ටයේ ඇති අංශු කම්පනය වීමෙන් විකිරණ පිටකරයි යන්න, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ක්වාක්, ලෙප්ටෝන් වැනි අංශු පවතීය යන්න ආදිය පමණක් නොව එකයි එකයි දෙකයි යන්න පවා උපකල්පනයකි. (ගණිතයෙහි ඇති මූලික axioms මඟින්) එක් අඹ ගෙඩියකුයි තවත් අඹ ගෙඩියකුයි එකතු කල විට අඹ ගෙඩි දෙකක් වූ පළියට මුළු විශ්වය සඳහාම එය එසේ යැයි ඔප්පු කල හැක්කේ කාටද? (සමහර සංසිද්ධි සඳහා එය එසේ නොවන බව නවීන විද්යාිවෙන්ම ඔප්පු කර ඇත. උදා: අංශු භෞතික විද්යාදවේ (particle physics) එන fundamental particle decay හි අතරමැද අවස්ථාවක් වන virtual particle වැනි අවස්ථා වලදී - නමුත් එහිදී මොකක්දෝ විකාර කතාවක් කියා විද්‍යාව එයින් ගැලවෙයි - යථාර්තයෙන් පැන යාම වැනි කතාවක්!) එනම් විද්‍යාවේ පදනමද අවබෝධය නොව විශ්වාසයයි. (උපකල්පන සත්‍යය යැයි ඇති විශ්වාසයයි.) නමුත්බුදුදහම උපකල්පන මත ගොඩනගා නැත. බුදුදහමට සොබාදහම විශ්වාස කිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අවබෝධයක් ඇති කර ගැනීමය. (විශ්වාස කිරීම හා අවබෝධ කර ගැනීම අතර වෙනස වටහා ගැනීම සමහරුන්ට අපහසු විය හැක.)
සත්වයා හා සත්වයාගේ සිත යන්න පවා සොබාදහමේම කොටසකි. බුදුදහමෙන් සිදුකරන්නේ මාර්ගෝපදේශනයකි. එනම් සත්වයා හා සත්වයාගේ සිත යන සොබාදමේ අංග ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට මග පෙන්වීමය. සත්වයා හැරුණු කොට අනෙක් දේ ගැන සිත යොමු කිරීම බුදුදහමෙහි ප්‍රතික්ෂේප කර නැත. තමුත් එවන් දේ ගැන සිතීමෙන් සත්වයාට ඇති ප්‍රයෝජනයක් නැතැයි බුදුරදුන් පවසා ඇත. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්, අපගේ දැනුම හා බුද්ධිය උපයෝගී කරගෙන ජීවිතය පහසු කිරීමට යැයි සිතාගෙන නිර්මාණය කර ඇති මේ නවීන, සංකීර්ණ ලෝකයේ ඒකාකාරී ජීවිත ගත කරන කාර්යබහුල මිනිසුන්, මීට වසර දෙදහසකට පෙර සිටි සරල මිනිසුන්ට වඩා විවේකයෙන් හා සතුටින් සිටින්නේ යැයි කිව හැක්කේ කාටද?
මෙවිට සමහරු කියන්න පුලුවන් බෞද්ධයන් යනු කිසිත් විශ්වාස නොකරන, ඉච්ඡාභංගත්වයට පත්වූ පිරිසක් කියල. නමුත් සැබෑව එයද? තමන්ගේ දුක, බිය, නොහැකියාව, දුර්වලතා, ඉච්ඡාභංගත්වය ආදිය වසා ගැනීමට මිනිසුන් අපූරු සංකල්පයක් නිර්මාණය කලහ. ඒ දෙවියන්ය. තමන්ගේ දුක, බිය, නොහැකියාව, දුර්වලතා, ඉච්ඡාභංගත්වය ආදී සියලු දේ දෙවියන්ට, දේව කැමැත්තට, දේව අණට බාර කල මිනිස්සු වගකීමෙන් මිදුණහ; දෙවියන් මාර්ගයෙන් තමන්ගේ කිළිටි අත් පිරිසුදු කරගත්හ. (මිනිසුන් දෙවියන්ගේ නිර්මාණයක් වීම කෙසේවෙතත් දෙවියන් යනු මිනිසුන් විසින් නිර්මිත "සංකල්පයක්" බව අප මෙහිදී මතක තබා ගත යුතුය.) ඉතින් ඉච්ඡාභංගත්වයට පත්වී ඇත්තේ බෞද්ධයන්ද? එමෙන්ම සැබෑ බෞද්ධයා යනු නිර්වචන වලට කොටුවී නොමැති, තමා විශ්වාස කරන දෙයට වඩා තමන්ගේ බුද්ධියට මුල් තැන දෙන විචක්ෂණ බුද්ධියෙන් හෙබි පුද්ගලයෙකි. උදාහරණයක් විධියට කැළෑවක ගමන් ගන්නා පුද්ගලයෙකුට කොටියකු කෑ ගසන ශබ්දයක් ඇසේ. දේව භාෂිත යනුවෙන් හඳුන්වා ගන්නා දේ පරම සත්‍යය යැයි විශ්වාස කරන්නෙකුට නම් ඒ කොටියෙකි. (දේව වාක්‍යයක එසේ ඇත්නම්) නමුත් බෞද්ධයෙකුට ඒ කොටියෙකු විය යුතුම නැත. සමහර විටෙක එය කොටියෙකුගේ හඬ පටයක් වීමටද පුළුවන. එනම් බෞද්ධයකු තමන් දුටු දේ, තමන් ඇසූ දේ එකෙනෙහිම විශ්වාස නොකරන අතර ඒ ගැන තම බුද්ධියෙන් විමසා බලයි. නමුත් දේව භාෂිත යනුවෙන් හඳුන්වන “නිර්වචන”, පරම සත්‍යය යනුවෙන් විශ්වාස කරන්නවුන්ට එලෙස කිරීමට නොහැක. කිමද දේව භාෂිත නම් වූ නිර්වචන වලට පිටින් සිතීමට ඔවුන්ට නොහැක; ඒ ඒවා ඉක්මවා යාමට ඔවුන්ට ඇති අයිතියත් ඒ දේව භාෂිත වලින්ම ඉවත් කර ඇති නිසාය. (උදා: දස පණතේ පළමුවැන්න)
බුදුදහම අනෙක් ආගම් වලින් වෙනස් වන තවත් කරුණක් නම් අනෙක් ආගම් මෙන් බුදුදහමේ කරුණු නොඉගැන්වීමයි. ඒ වෙනුවට බුදුදහමේ සිදුකරන්නේ සත්‍යාවබෝධය සඳහා ඉගෙනගැනීමට මග පෙන්වීමයි. ඒ ඒ පුද්ගලයාගේ චින්තනයන්ගේ වූ අනන්‍ය ස්වභාවය මැනවින් වටහා ගෙන නිර්මාණය කර ඇති බුදුදහමේ මේ ගුරුවරයා නොව ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් ඉගැන්වීම් ක්‍රම ශිල්පය අද වන විට ඉගැන්වීම සඳහා හොඳම ක්‍රමයක් ලෙස ලොවම පිළිගෙන ඇත. (නමුත් පෙරදිග නිර්මාණය වූ බොහෝ කරුණු මෙන්ම එම ක්‍රමයද නවීන ලොව තුල කරලියට පැමිණ ඇත්තේ බටහිර නිර්මාණයක් ලෙස හුවා දක්වමිනි.)
බුදුදහම ගැන ඇති තවත් දුර්මතයක් නම් බුදුදහම යනු සතුට ගැන නොව දුක පිළිබඳව පමණක් උගන්වන ආගමක් යන්නයි. මෙය අසත්‍යයකි. “නීරෝගීකම පරම ලාභයයි; සතුට උතුම්ම ධනයයි” යනුවෙන් බුදුරදුන්ම පැවසීමෙන්ම එය පැහැදිලි වේ. එමෙන්ම චතුරාර්ය සත්‍යයේ පවා තෙවන හා සිව්වන කරුණු පැහැදිලි කරන්නේ දුකෙන් මිදී සංතුෂ්ටිය ලබා ගැනීම පිළිබඳවය. තවද පංච සීලය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මහාමංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි බොහෝ සූත්‍ර වල අඩංගුව ඇත්තේ දුක ගැන නොව සතුට ලඟා කර ගැනීම පිළිබඳවය; විශේෂයෙන්ම තනි තනිව නොව මුළු මහත් සමාජයක් ලෙසම සතුටු විය හැකි ආකාර, පිළිවෙත් ගැනය.

Saturday, March 21, 2009
http://trueorcrazy.blogspot.com කල උපුටා ගැනීමකි

No comments:

Post a Comment